ලුණුගල විදු මෑණීයන්ගෙන් සිප්සතර හැදැරූ දුවා දරුවන් අති විශාල ප්‍රමාණයක් මෙරට මෙන්ම විදේශයන්හි පවා තම ජීවිකාව පවත්වාගෙන යන බව අප දන්නා කරුණකි. ඔබ, අප මෙන්ම ඔවුන් ද අකුරු කළ ලුණුගල විදු මාතාවගේ ඉතිහාසය දෙස බලන කළ මෙසේ ය....
ක්‍රි.ව.1890 වේ දී පමණ ලුණුගල නගරය අසළ කුඩා කඳු ගැටයක පිහිටි එක් ගමක් වන සිල්ක් ෆාම් හි පාසල පළමුව ආරම්භ කරන ලද බව විද්‍යාලීය ඉතිහාසය තුළ සඳහන් වේ. එකළ ගමේ ආරවුල් විසඳු ස්ථානය ලෙස සැළකෙන ගම් සභාව ද මෙම පාසල ආරම්භ කරන ලද ස්ථානය අසළ පැවති බව පැවසේ. ප්‍රථමයෙන් ම විදුහලේ ප්‍රධානාචාර්යවරයා ලෙස කටයුතු කර ඇත්තේ මහනුවර ප්‍රදේශයේ සිට පැමිණි ගොඩමුන්නේ නම් මහත්මයෙකි. එවකට උඩකිරුව, පල්ලේකිරුව වැනි ගම් වලින්ද විදුහලේ අධ්‍යාපනයට සිසුන් පැමිණි බව සඳහන් වේ.
එවක පස්වන ශ්‍රේණිය සමත්වූ සිසුන් මොනිටර්වරුන් ලෙස එම පාසලේ ම සේවයට යොදවා ගන්නා ලදී. I, II, III ලෙස මොනිටර් ශ්‍රේණි 03 ක් වු අතර 06 ශ්‍රේණිය සමත් වූ සිසුවකු මොනිටර් කෙනෙකු ලෙස අවුරුදු 03 ක් ද 08 පාසල් වු සිසුවෙකු මොනිටර් වශයෙන් අවුරුදු 02 ක් ද සේවය කළ පසු ගුරු පත්වීමකට සුදුසුකම් ලැබීය. මොනිටර් වශයෙන් සේවය කළ කාලයට කිසිදු ගෙවීමක් නොකෙරුණු අතර අවුරුදු 03 අවසන් වූ පසුව පත්වීම ලැබෙන තෙක් රු.15 බැගින් ගෙවීමක් කර ඇත. මෙම තොරතුරු සඳහන් කරනු ලැබුවේ පසු කාලයේ දී මෙම විදුහලේ විදුහල්පතිවරුන් ලෙස පත්වීම ලැබු බොහෝමයක් දෙනා මෙලෙස මොනිටර්වරුන් ලෙස විදුහලින්ම මතු වූවන් වී නිසාය.
එසේ විද්‍යාලය දියුණු මට්ටමකට පැවත එන විට මුල් ස්ථානයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් පාසල වෙනත් භූමියකට ගෙන යෑමට සිදුවිය. එනම් දැනට විදුහල පවතින ලෝණගිරි පුරාණ රජමහා විහාරය අසළ පිහිටි භුමිය වෙතටයි. එම කාලයේදී පාසල හඳුන්වනු ලැබුවේ ලුණුගල කණිෂ්ඨ විද්‍යාලය යන නමිනි. මේ සඳහා පුරෝගාමීව කටයුතු කළේ එවකට විදුහලේ ප්‍රධානාචාර්යවරයා ලෙස සිටි උඩකිරුව උපන්ගම වූ දීප්තිමත් ආදී ශිෂ්‍යයෙක් වන මුදලිහාමි සේනානායක මහතා ය. ඔහු මෙම ප්‍රදේශයෙන් බිහිවූ පළමුවන ප්‍රධානාචාර්යවරයා ද වීම විශේෂත්වයකි. එතුමා පසු කලෙක බඩල්කුඹුර ප්‍රදේශයට ස්ථිර පදිංචියට ගිය අතර ඔහුගේ පුත්‍රයා මෙම ප්‍රදේශයෙන් බිහි වූ ප්‍රථම ශාස්ත්‍රපති උපාධිධාරියා වෙයි.
තවත් මොනිටර්වරයෙකු වූ එවකට වැදිවෙල ලෙස හැඳින් වූ (අද ජනතාපුර නම්වන) ගම් පියසේ ශිෂ්‍යයෙකු වූ ජී.ටී.රත්නායක මහතා ඊළඟ විදුහල්පතිවරයා විය. මොහු ඌවේ ප්‍රථම පුහුණු ගුරුවරයාද විය. මෙතුමාගේ සමයේදී සිසුන් සංඛ්‍යාව සියය ඉක්මවීය. දුර බැහැරින් පැමිණි ගුරුවරුන් තිදෙනෙක් වූහ. ගබඩා කාමරයක් හා තවත් කුඩා කාමරයකින් යුත් අඩි 40 x 20 ප්‍රමාණයේ ගොඩනැගිල්ලක එවකට පාසල පවත්වාගෙන යන ලදී. 1933 වන විට එතුමා වෙනත් පාසලකට ස්ථාන මාරුවක් ලැබු අතර ලුණුගල උපන් මෙම විදුහලේ ම ඉගෙනුම ලැබු ටී.රත්නායක මහතා විදුහල්පතිවරයා බවට පත්විය. සය වසරක සේවා කාලයකින් පසු එතුමා විශ්‍රාම ලැබු අතර වැඩ බලන විදුහල්පතිවරයා ලෙස ඩබ්.එම්.යූ.එච්.ධනපාල මහතා මාස 04 ක කාලයක් සේවය කළේය. ගුරු මණ්ඩලය 03 ක් වූ අතර 08 ශ්‍රේණිය දක්වා මෙකළ පංති පැවතුණි.
අරවාකුඹුරේ උපත ලැබු මෙම විදුහලේ ම ආදි ශිෂ්‍යයෙකු වූ කේ.බී.හේරත් මහතා 1940 දී මෙහි විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ අතර ගුරු මණ්ඩලය 08 දක්වා ඉහළ ගියේය. එතුමාගේ සේවා කාලය අවුරුදු 08 කි. ගම්පහ ප්‍රදේශයේ අයෙකු වූ එච්.එස්.ඩයස් මහතා ඊළඟ විදුහල්පතිවරයා විය. එතුමා ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතිකය තෙක් පංති ආරම්භ කළ අතර ගොඩනැගිලි 02 ක් දක්වා විදුහල පුළුල් කිරීමට ද කටයුතු කර ඇත. 1950 දක්වා කණිෂ්ඨ විදුහලක් ව තිබු පාසල කණිෂ්ඨ ද්විතීයික විදුහලක් දක්වා උසස් කරනු ලැබී ය. වාර්තාගත වී ඇති පරිදි ප්‍රථම වරට ක්‍රීඩා උත්සවයක් පවත්වා ඇත්තේ ද 1955 වසරේ දී ය. 1956 දී මහා විද්‍යාලයක් දක්වා උසස් වීම ද වැදගත් සංධිස්ථානයකි.
ඉඩකඩ අඩුපාඩුකම් නිසා ගම්වැසියන් විසින් පිදුරු සෙවි කළ තාවකාලික ගොඩනැගිල්ලක් තනවා දීමත්, එය ගිනි ගැනීම නිසා දීර්ඝ කාලයක් දෙවරු පාසලක් ලෙස පංති පවත්වා ගෙන යෑමත්, ප්‍රාථමික පංති පන්සලේ පවත්වාගෙන යෑමත්, විශේෂයෙන් සඳහන් කළ යුතු වේ.
තවද 1952 ට පෙර 01 සිට 05 දක්වා සිංහල මාධ්‍යයෙන්ද, 6-9 දක්වා ඉංග්‍රීසි මාධ්‍යයෙන්ද, පංති පවත්වා ඇත. 1952 න් පසු සිංහල මාධ්‍යයෙන් පමණක් පංති පවත්වා ඇති අතර දැනට ද පාසලේ පවතින අනුපිළිවෙලින් පැරණි ම ගොඩනැඟිලි වන “තිස්ස හා පැරකුම්” ශාලා මේ යුගයේ දී ඉදි කෙරිණි.
අනතුරුව ආ ටී.එස්.සුගතපාල මහතාගෙන් පසු අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක් ලෙස විශ්‍රාම ගිය ඩබ්.එම්.ප්‍රේමරත්න මහතා විදුහල්පතිවරයා විය. 1960 දී එවකට පස්සර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වූ අමරානන්ද රත්නායක මහතා විසින් පාසල ඉදිරිපිට රබර් වතු යායෙන් කොටසක් පවරාගෙන ප්‍රාථමික අංශයේ ගොඩනැගිල්ලක්, විද්‍යාගාරය, හස්ත කර්මාන්ත ශාලාව සහ විදුහල්පති නිල නිවස ඉදි කිරීමට කටයුතු කළ අතර ක්‍රීඩාංගනයද ලබා දෙන ලදී. මේවා විවෘත කෙරුණේ ඩි.ඒ.අඹේපිටිය විදුහල්පතිවරයාගේ අවධියේදී ය.
පසුව අතිරේක දිසාපති වරයෙකු වූ රන් ආරියදාස මහතා විදුහල්පතිවරයා වශයෙන් සේවය කළ කාලය ද විදුහලේ කීර්තිය පැතිර ගිය වකවානුවකි. සංගීත අංශයෙන් සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහනයන් ලැබීමද විශේෂ කරුණකි. ප.දෝහේමපාල මහතා වැඩබලන විදුහල්පතිවරයෙක් ලෙස සේවය කළ අතර 1972 දී පී.ජී.සිල්වා මහතා විදුහල්පතිවරයා වශයෙන් පත්විය. එතුමාගේ ස්ථාන මාරුවෙන් පසුව ෆ්‍රැන්සිස් රාජපක්ෂ මහතා කෙටි කලක් වැඩ බැලීමේ නිරත විය.
1972 න් පසුව පුස්තකාල ගොඩනැගිල්ලක් ද, විදුහලට විදුලි බලයද ලබා දී ඇති අතර ප්‍රථම වරට නව දෙමහල් ගොඩනැගිල්ලක් සඳහා උඩරට ගැමි පුනරුත්ථාපන කොමිසම විසින් මුදල් වෙන් කරන ලදී. මෙම යුගය වන විට පසුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක් ව විශ්‍රාම ගිය ආදි ශිෂ්‍ය ඩි.වී.ඩිවීරසේකර මහතාගේ සේවය විදුහල්පතිවරයා වශයෙන් විදුහලට ලැබෙමින් තිබු බවත් සඳහන් කළ යුතුය
පසුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වරයෙක් ව විශ්‍රාම ගිය එන්.ඒ.ඩබ්.ගුණරත්න මහතා 1978 – 1989 වකවානුවේ විදුහල්පතිවරයා විය. විදුහලේ භෞතික පරිසරය අලංකරණය පිළිබඳ කැපවීමෙන් කටයුතු කළ අවධියකි. එකළ දෙවන දෙමහල් ගොඩනැගිල්ල හා ප්‍රාථමික අංශ ගොඩනැගිලි ද ලැබුණු අතර බුදු මැදුර හා පොකුණු පරිශ්‍රයද මෙකළ ඉදි කෙරුණි. බාල දක්ෂ කණ්ඩායම ඇරඹුණේද 1979 දී ය. ඊ.එම්.කමලාවතී ශිෂ්‍යාව මී.5000 කාන්තා ධාවන තරඟයෙන් ජාතික ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා වාර්තාව තැබුවේද මේ යුගයේදී ය. ජාතික පාසල් ක්‍රීඩා ජයග්‍රාහකයෙක් හා පාසල් ක්‍රීඩා වර්ණලාභියෙක් බිහි වූයේ ද මේ යුගයේය.
ආර්.පී.එම්.ප්‍රේමරත්න මහතා 1989 - 1990 වසරවල දී ද ඒ.එම්.අප්පුහාමි මහතා 1991 - 1995 කාලයේ දී ද විදුහල්පති ධුරය ඉසිලී ය. ප්‍රාථමික ගොඩනැගිල්ලක් හා දන්ත චිකිත්සාගාරය ඉදිවුයේද දැනට පුස්තකාලය හා ගෘහ විද්‍යාගාරය පවතින දෙමහල් ගොඩනැගිල්ල හා රංග ශාලාව යනුවෙන් හැඳින්වෙන පාරට හා පන්සලට ආසන්නතම ගොඩනැඟිල්ල මුල්ගල් තැබුවේද මෙම අවධියේ ය. ශිෂ්‍යභට ඛණ්ඩයේ පුරෝගාමී පුහුණු වීම් ද ඇරඹිණි. මධ්‍ය මහා විද්‍යාලයක් බවට උසස් වුයේ ද මෙම කාලයේදී ය.
1995 - 1999 එල්.කේ.විල්සන් ද සිල්වා විදුහල්පති ධුරය හෙබ වූ යුගය වන අතර ඉහත ගොඩනැඟිලි විවෘත කෙරුනේ ද, පාසල් බිම් නිරවුල් කිරීමේ දැඩි ප්‍රයත්නයක නිරත වුයේ ද, පාසල තුළ පොදු ඇමතුම් පද්ධතියක් ආරම්භ කළේ ද මෙකලය. ශිෂ්‍යභට ඛණ්ඩය ප්‍රථම වතාවට රන්ටැඹේ ශිෂ්‍යභට ඇගයීම් කඳවුරට සහභාගී වීම ද සිදුවිය.
එල්.කේ.විල්සන් ද සිල්වා විදුහල්පතිවරයාගෙන් පසුව මාස කිහිපයක් පී.විමලසිරි මහතා විදුහල්පති ධුරය ඉසිලී ය. එතුමාගෙන් පසුව ඒ.එච්.ගුණදාස මහතා 1999 - 2003 වකවානුවේ විදුහල්පති ධූරය ඉසිලීය. ප්‍රාථමික අංශයේ 50 x 20 ගොඩනැගිල්ල ඉදිකෙරුනේ ද ළිඳ අළුත්වැඩියා කර මෝටරයක් සවි කිරීම සිදුවුනේ ද මෙම වකවානුවේ දී ය. දෙබඩි විද්‍යාගාරයට මුල්ගල තැබිණි.
2003 - 2004 වර්ෂවලදී එන්.එච්.නන්දාවතී මහත්මිය මෙම විදුහලේ ප්‍රථම විදුහල්පතිනිය වුවා ය. දෙබඩි විද්‍යාගාරය විවෘත කෙරුනේ ද මෙම අවධියේ ය. 2004 සිට 2017 දක්වා මෙම විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කළේ ලුතිනන් ඒ.ජී.විජේසිංහ මහතාය. විද්‍යාලීය පරිගණක ඒකකය විවෘත කිරීම, ප්‍රදිපාගාර පාසල් ඒකකය ආරම්භ කිරීම, පෙරදිග තුර්ය වාදක කාණ්ඩායම නැවත ආරම්භ කිරීම හා බාලදක්ෂිකා ඒකකය නැවත ආරම්භ කිරීම, ඇණහිට තිබු ශිෂ්‍යභට ඒකකය නැවත ආරම්භ කිරීම, මෙම විද්‍යාලය නවෝද්‍යා විද්‍යාලයක් බවට පත් කිරීම, එහිදී ප්‍රථම වරට පාසල් සමස්ත ලංකා මුද්‍රා නාට්‍ය තරඟයෙන් තෙවන තැන ලබා ජයග්‍රහනය කිරීම, සමස්ත ලංකා පරිගණක මෘදුකාංග තරඟයෙන් වාණිජ අංශයෙන් ප්‍රථම ස්ථානය පවිත්‍ර ධර්මප්‍රිය ශිෂ්‍යයා දිනා ගැනීම මෙහිදි විශේෂයෙන් සඳහන් කළ යුතුවේ.
2007 වර්ෂයේ සමස්ත ලංකා ඉංග්‍රීසි භාෂා අත් අකුරු තරඟයෙන් ආර්.ඒ.එම්.අමන්දා තත්සරණි ශිෂ්‍යාව තුන්වැනි ස්ථානය දිනා ගැනීම, සිංහල භාෂා සමස්ත ලංකා කෙටිකතා තරඟයෙන් ආර්.එම්.ඉමාලි ජයතිලක ශිෂ්‍යාව ප්‍රථම ස්ථානය දිනා ගැනීම, 2012 වර්ෂයේදි සමස්ත ලංකා නර්ථන “ඉඟිනළු” තරඟ අංශයෙන් විද්‍යාල කාණ්ඩයම තුන්වැනි ස්ථානය දිනා ගැනීමත්, 2010 වර්ශයේ දී ප්‍රථම වරට සංගීත සමස්ත ලංකා ජන ගී සමුහ තරගයෙන් තුන්වන ස්ථානයත්, ඒකල හර්මෝනියම් තරඟයෙන් එම්.ඒ.හංසිකා සෙව්වන්දි ශිෂ්‍යාව ප්‍රථම ස්ථානය දිනා ගැනීමත් කැපී පෙනේ. 2011 වර්ෂයේදී සමස්ත ලංකා දෙමළ භාෂා කියවීමේ තරඟයෙන් ආර්.එම්.ආර්.සඳරුවනි ශිෂ්‍යාව ප්‍රථම ස්ථානයත්, දෙමළ භාෂා කථික තරඟයෙන් දෙවැනි ස්ථානය ඊ.එම්.කාවින්දි නිවර්තනා ශිෂ්‍යාව විසින් දිනා ගැනීමද කැපී පෙනේ.
යුධ හමුදා ජාතික ශිෂ්‍ය භට බලකා 6 වැනි බලඇණිය ඇගයීම් කඳවුර රන්ටැඹේ 2010 වර්ෂයේදී අටවැනි ස්ථානය හා 2011 වර්ෂයේදී දොළොස්වැනි ස්ථානය ලැබීම මෙන්ම 2010/ 2011 වර්ෂවලදී දියතලාව ගුවන් හමුදා කඳවුරේ පැවැති ගුවන්භට බාලක ඇගයීම් කඳවුරු වලට සහභාගී වීම හා බාලක බාලිකා ශිෂ්‍යභට ඛණ්ඩ සහභාගීවීම ශිෂ්‍ය සම අවස්ථා ප්‍රවේශයට උදාහරණයකි.
2008 වර්ෂයේදි 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයෙන් පස්සර අධ්‍යාපන කලාපයේ ප්‍රථම ස්ථානයත්, 2010 වර්ෂයේ අ.පො.ස. (උසස් පෙළ) කලා අංශයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ පස්වන ස්ථානය නෙළුම් සමන්තිකා ශිෂ්‍යාව විසින් දිනා ගැනීම ද වැදගත් වේ. ප්‍රථම වරට 13 න් පහළ ඝන පන්දු කාණ්ඩායම් 2010 දී ආරම්භ කරන ලද අතර 2010/2011 තරග වාරයේ දී 15 න් පහළ කණ්ඩායම දෙවන වටය සඳහා ද සුදුසුකම් ලැබීය.
2008 වර්ෂයේ සිට ඉසුරු පාසල් ව්‍යාපෘතිය යටතේ දැවැන්ත සංවර්ධනයකට යොමු වු අතර, 2011 වර්ෂයෙන් පසු ද්විතියික පාසලක් ලෙස සංවර්ධනය වීමද කැපී පෙනෙන සන්ධිස්ථානයක් ලෙස නම් කල හැකිය. ලුණුගල මධ්‍ය මහා විද්‍යාලය ලෙස පැවැති මෙම විද්‍යාලය 06 - 13 ද්විතියික පාසලක් හා 01 - 05 ප්‍රාථමික පාසලක් ලෙසත්, පාසල් දෙකක් වන්නේ 2009 වර්ෂයේදීය. එම වර්ෂයේම ඉසුරු පාසල් ව්‍යාපෘතිය යටතේ ජලටැංකිය හා පොම්පාගාරය, ආරක්ෂිත වැට, නව වැසිකිළි පද්ධති දෙකක්, විද්‍යාගාරයේ පැති බැම්ම, ගේට්ටුව හා මුරකුටිය, පරිපාලන ඒකකය ඉදිකිරීම ආරම්භ විය. 2010 වර්ෂයේ දෙමහල් තනිකඩ ගුරු නිවාසයද, 2014 වර්ෂයේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය ද ඉදිකිරීම ආරම්භ වු අතර එම වර්ෂයේ ගයාන් මංජුල ශිෂ්‍යය මීටර් 5000 ධාවන තරඟයෙන් සමස්ත ලංකා මට්ටමින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමත් සිදුවිය. විද්‍යාලයේ උසස් පෙළ විද්‍යා අංශය ආරම්භ වුයේ 2013 වර්ෂයේදිය. 2015 වර්ෂයේ සනීපාරක්ෂාව පෙරට වැඩ සටහන යටතේ නව වැසිකිළි පද්ධතියක් ඉදිවිය. 2016 වර්ෂයේ 100 x 20 ගොඩනැගිල්ල කඩා ඉවත් කොට 90 x 25 දෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීම, දෙමහල් ගුරු නිවාසයක් ඉදිකිරීම, නව විදුහල්පති ගුරු නිවාසයක් ඉදිවීම, ක්‍රීඩාංගණය නවීකරණය කිරීම, උසස් පෙළ තාක්ෂණ අංශය නවීකරණය කිරීම, වැනි සංවර්ධන කටයුතු ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ සිදු විය. 2016 / 2017 වර්ෂයන්හි සමස්ථ ලංකා සමාජ විද්‍යා තරගයෙන් ප්‍රථම ස්ථානය ආර්.එම්.තීක්ෂණි සුදක්ෂි ශිෂ්‍යයාව දිනා ගැනීම ද විශේෂයෙන් සඳහන් කළ යුතුය.
වසර 13 ක පමණ කාලයක් විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ ලුතනන් ඒ.ජී.විජේසිංහ මහතා 2017 වර්ෂයේදී විශ්‍රාම යෑමත් සමඟ මෙම විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස ඒ.ඩී.විමලසිරි මහතා පත්විය. එම කාලයේදී නව බුදු මැදුර සඳහා මුල්ගල තබන ලදී. මාස කිහිපයක් විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ එතුමා ස්ථාන මාරුවීම් ලැබ ගිය පසු විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයා වශයෙන් කටයුතු කළ ආර්.එම්.සෙනවිරත්න බණ්ඩාර මහතා වැඩබලන විදුහල්පතිවරයා ලෙස පත්විය. 2018 වර්ෂයේ සමස්ථ ලංකා සමාජ විද්‍යා තරගයෙන් ආර්.එම්.තීක්ෂණි සුදක්ෂි ශිෂ්‍යයාව සයවන ස්ථානය දිනා ගැනීම කැපී පෙනේ. වසරක් පමණ වැඩබලන විදුහල්පතිවරයා ලෙස එතුමා කටයුතු කළ අතර නව බුදුමැදුර විවෘත කිරීමද සිදු විය.
2018 සිට මේ දක්වා විදුහල්පතිවරයා ලෙස කටයුතු කරන්නේ මෙම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ ආර්.එම්.ජයවර්ධන මහතා ය. 90 x 25 දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම, 13 වසරක සහතික කරන ලද අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන ආරම්භ කිරීම විශේෂයෙන් සඳහන් කළ යුතුය. 2019 වර්ෂයේ සමස්ත ලංකා ජ්‍යෙෂ්ඨ රාගධාරී සිතාර් වාදන (පිරිමි) තරගයෙන් කේ.හිරුෂ කාවින්ද ශිෂ්‍යයා තෙවන ස්ථානය දිනා ගැනීම, සමස්ත ලංකා ජ්‍යෙෂ්ඨ I සරල ගීත ගායනා (ගැහැණු) තරගයෙන් එච්.එම්.ශෂිනි රිද්මිකා ශිෂ්‍යයාව පස්වන ස්ථානය දිනා ගැනීම, සමස්ථ ලංකා සමාජ විද්‍යා තරගයෙන් ආර්.එම්.තීක්ෂණි සුදක්ෂි ශිෂ්‍යයාව අටවන ස්ථානය දිනා ගැනීම ද මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය.
2021.05.03 වන දින සිට මෙම විද්‍යාලය ජාතික පාසලක් බවට පත් කිරීම විද්‍යාලීය ඉතිහාසයේ සුවිශේෂි සන්ධිස්ථානයක් බවට පත්විය. එය මෙම විද්‍යාලයෙන් අකුරු කළ සියලු ම දෙනා ලද ජයග්‍රහණයකි.